උදේ ගෙදරින් එන්න පිටත්වෙද්දිම නහය ටිකක් දුක දෙන්න පටන් ගත්තා... සාමාන්‍යයෙන් මට වැස්සට තෙමුණට පිනී බෑවට සෙම් ඇවිස්සෙන ගති..නහය බුරුල් වීම වගේ දේවල් වෙන්නේ නැහැ. ඒත් දුවිල්ල... ඔව් දූවිල්ල තමා..පොඩ්ඩක් හරි දූවිල්ල වැදුනොත් සංසාරෙට ඕන නැහැ... ඇස් දෙක මුල නහයේ උඩ හරියෙන් හීනියට කිතියක් වගේ එහෙකින් පටන් අරං ටික වෙලාවක් යද්දී පටන් ගන්නවා ටැප් එක ඇරියා වගේ... ඔය හින්දා මං කාමරේ අස් කරද්දී.. මකුළු දැල් කඩද්දී වගේම දූවිල්ල ඇවිස්සෙන මොනයම්ම හෝ දේක නිරත වෙන්නේ දෙයියෝ බුදුන් සිහි කරගෙනම තමා... ඉස්සරනං ඔය වෙලාවට ලේන්සු දහයක් විතර තියා ගන්න ඕන... මං ජීවිතේ වැඩිම දුකක් වින්දේ ඔය ලෙඩෙන්...
ඒත් ඔහොම ඉද්දී තමා දවසක් අම්මා මට බෙහෙත් පෙත්තක් හදුන්වලා දුන්නේ... පුංචි කහපාට පෙත්තක්... අම්මා මට එයින් බාගයයි දුන්නේ... වැඩේ හරි ගියා.. මට ලොකු නිදි මතක් ආවා... ටික වෙලාවක් නිදා ගෙන ඇහැරුනත් හරි නහය බොහෝම වියළියි... අර තිබුන කරදරේ ඇත්තේම නැහැ.. පස්සේ මං ඒ පෙත්තට හුරු උනා... ලෙඩේ හැදීගෙනම එද්දී එයින් බාගයක්.. වැඩේ නිමයි... ඒත් කාලයක් යද්දී පෙති බාගේ මට මදි වගේ... ඒ හින්දා පෙත්තක් ගන්න පුරුදු උනා...
එහෙම කාලයක් යද්දී පෙත්තක ප්‍රමාණයත් අහන්නේ නැති ගානට ආවා... ඒ කාලේ වෙද්දී මට දවසකට එක පෙත්තක්වත් ගන්න වෙනවා..මොකද හැමදාම වගේ ඔය ලෙඩේ හැදෙන දවස්... වැඩ නොකර ඉන්න බැහැනේ... ඉතිං හැදීගෙන එද්දිම පෙත්තක් බීලා පැය කාලක් ඇල වෙලා ඉදලා වැඩ පටන් ගන්නවා...අන්න එයින් පස්සේ මට නිතර ඔය ඇතිවෙන අසනීප තත්වය නැති උනා... සතියක් දෙකක් අල්ලලා හිටිනවා... ඔය වෙනකොට මේ ගැන අනතුරු අඟවපු අයත් හිටියා... ඇට දිරනවා... වැඩිය හුරු වෙන්න එපා... එක පාර ගොඩක් බිව්වොත් මැරෙනවා... මං ඒකත් පිළිගත්තා... කොහොමත් බෙහෙතක් කියන්නේ ඒ හැටි හොඳ දෙයක් වෙන්න බැහැනේ... අනික මට උවමනාවක් නැත්තං ගන්න ඕන නැහැනේ...
-----------------------------
මළ ගිය ඇත්තෝ... සරත්චන්ද්‍රයන්ගේ ප්‍රසිද්ධ කතාව... මං මුලින්ම කියෙව්වේ මට වයස අවුරුදු 13ක් විතර වෙද්දී... ඒ කියවලා එයින් ටික දවසකට පස්සේ ඒකෙම දෙවැනි කොටස උන මළවුන්ගේ අවුරුදු දාත් කියෙව්වා... හැබැයි මට ඒ කතාව ඒ හැටි මතකයක් තිබුනේ නැහැ.. ඒත් මං ආසම පොත් අතරටනං එකතු උනා... ලංකාවෙන් ජපානෙට ගිය සිවුරු හැරිය පුද්ගලයකුගේ කතාවක්... එහිදී හමුවන තරුනියක හා ගලා යන කතාවක්... ඒ හැටි හොඳ අවසානයක් නොතිබුන කතාවක් කියලා මං තේරුම් ගත්තට ලොකු මතකයක් තිබුනේ නැහැ...
ඊයේ පෙරේදා ආයේම මට හම්බ උනා "මළ ගිය ඇත්තෝ" ආයෙම කියෙව්වා... එදාට වඩා සිහි කල්පනාවෙන්... යම් තරමක අවබෝධයෙන්...
මේ වෙනකොට මාත් සිවුරු ඇරිය පුද්ගලයෙක්... දෙවොන්දරා සං යනුවෙන් හදුන්වපු කෙනාගේ නම මං හිතන්නේ දේවේන්ද්‍ර වෙන්න ඕන... සමහර විට පැවිදි නාමය දේවානන්ද වගේ තියෙන්නත් ඇති... කොහේ දේවානන්දද..? ලංකාවේ කොහේ හරි ගමක නමක් ඒ මුලට යෙදෙන්න ඇති... ඒකෙන් කමක් නැහැ... ගිහියෙක් වෙලා ඉදලා පැවිදි උනාට පස්සේ අපේ මුල් කැපෙනවා... ඒ වෙනකල් තිබුන ගෙදර දොර එක්ක සම්බන්ධය හිතාගන්න බැරි තරමට ඈත් වෙනවා... ආයේ සිවුරු ඇරලා ගෙදර ආවත් අර කලින් තිබුන තරමට අපේ මුල් ගෙදරට..ගෙදර පරිසරයට.. නෑදෑ හිතවතුන්ට සම්බන්ධ වෙන්නේ නැහැ... නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ... එක අතකට බොහෝම නිදහස්.. අනිත් අතින් අයාලේ යන්න පුළුවන්...
සිවුරු ඇරලා ඇවිත් ඒ ගමන්ම කසාඳයක් බැඳ ගත්ත අයනං තමුන්ගේ මුල් ගෙදරට නැතත් තමන්ගේ අළුත් කුටුම්භය ඇතුලේ අළුතින් මුල් ඇඳ ගන්නවා... ඒත් එහෙම නොවුන අය ආතක් පාතක් නැතිව තමුන්ගේ මුල් කිසිම තැනක අදින්න දෙන්නේ නැතිව ඔහේ පාවෙනවා...
දෙවොන්දරාත් එහෙම තමුන්ගේ මුල් ගැලවුන කෙනෙක්... අවුරුදු 13 දී කියෙව්වට වඩා සිවුරට ගිහින් මුල් හිඳගෙන.. සිවුරෙන් ඇවිත් මුල් නැතිව පාවෙන කොට මිනිහව තේරුං ගන්න පහසුයි... එක අතකින් බැඳීම් නැතිවීම හරි පහසුවක්... ඒ තුල තියෙන විඳීම මං හිතන්නේ නැහැ ලෝකේ කිසිම දේකින් විඳින්න පුළුවන් කියලා... හැබැයි එහෙම ඉද්දී මොන යම්ම හෝ හේතුවකින් අපිට බැඳීමක් ඇති උනොත් ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතිවන බැඳීමකට වඩා අසීරුයි... පිටතින් බලද්දී ඒක නිකං තීරණයක් ගන්න බැරිව දෙපැත්තට වැනෙන එකෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරනවා... මුලදී මං දෙවොන්දරා සංව දැක්කා වගේ... ඒත් ඒක ඇතුලට ගියාම තේරෙනවා ඇයි එහෙම වෙන්නේ කියන දේ...
ලෝක දෙකක් අතර මහ ගැටීමක්... එක ලෝකයක් ලස්සනයි... හිත් ඇඳගන්නවා... ඒත් ඒකට යටින් තියෙන්නේ මහා බැඳීම් ගොඩක්... අර මතුපිටින් තියෙන සිත් අලවන ස්වභාවයම දවසක තමුන්ට දුක් ගොන්නක් ගේනවා කියලා පැහැදිලිව පේනවා... බැඳීම්වල දුක මිසක් වෙන දෙයක් නැහැ කියන දේ වටහාගෙන ඉන්න කෙනෙකුට ඒක ලේසි නැහැ...
අනිත් ලෝකේ ඒ තරං ලස්සන නැහැ... තනිකම පාළුව වගේ දේවල් නිතරම තමා අවට සරනවා... ලෝකේ කෝටි ගණන් මිනිස්සු සත්තු හිටියත් එහෙම ලෝකවල ඉන්නේ එකම කෙනයි.. ඒ තමා විතරයි... කාත් කවුරුවත් නැතිව... ඇලීමක් බැඳීමක් නැතිව ජීවිතේ දවසක් ගෙවීම හිතන තරම්ම පහසු නැහැ. මනුස්ස සිත හැදිලා තියෙන්නේ නිතර බැදෙන්න...ඇලෙන්න... ඒකයි ස්වභාවය... එහෙම නොවුන තැන හුගක් අසීරුයි ජීවත් වීම... තත්පරයක් තත්පරයක් ගානේ කාලය ගෙවෙනවා කියන එක හොඳට දැනෙනවා... සමහර විට විනාඩියක් ගෙවා ගැනීමත් මහා වදයක් වෙන්න පුළුවන්... පිටින් කරදර නැහැ..ඒත් තමන්ගේ සිතත් එක්කම මහා යුද්ධයක් කරන්න ඕන... එහෙම ඇලෙන්න බැදෙන්න හිත නොදුවන තාක් කල් මේ ලෝකේ හරිම නිහඩයි..ශාන්තයි.. සැනසීමයි... හෙට මොකද වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි... මැරෙනවා කියන එක බියකරු දෙයක් නෙවෙයි...
කලින් කිව්ව ලස්සන ලෝකේ ඉද්දී මැරෙනවා කියන දේ අති භයංකරයි.. දාලා යන්න තියෙන දේවල් දැක්කම මරණය ගැන හිතන්නවත් හිතෙන්නේ නැහැ... තමන් හොයා සපයා ගත්ත ගේ දොර..වතු පිටි..යාන වාහන... තමුන්ගේ නෑදෑයෝ... විශේෂයෙන්ම දූ දරුවෝ.. එයාලා දාලා යන්න වෙනවා කියලා හිතෙනකොටත් හිතින් මැරි මැරි උපදින්න වෙනවා නිතර නිතර... ඒත් දෙවැනි ලෝකේ මරණය එයිට වඩා සුන්දරයි... මරනින් මත්තට යන තැන ගැන හරි වගකීමක් තියෙනවනං ඒක තවත් සුන්දරයි... ඒත් කරුමෙට වගේ ඒ කාරනේ දැන ගන්න තරං හිත දියුණු නොකරපු කෙනෙකුට සර්ව සම්පූර්ණත්වයකින් මැරෙන්න වෙන්නේ නැහැ.. ඒත් එයින් කියැවෙන්නේ නැහැ මරණය නරකයි කියලා... එහෙම තත්වයකින් උනත් මරණය අර කලින් ලෝකෙට වඩා සිය දහස්ගුණයකින් සුන්දරව පේනවා...
----------------------------
දෙවොන්දරා සං එක මොහොතකදී තමා සන්තකව තියෙන නිදි බේත් ගුලි වගයක් ගිලිනවා... මරණය අපේක්ෂාවෙන්... මට ඔය කෑල්ල මතක තිබුනේ නැහැ... ඒත් මමත් එක් වතාවකදී මං කලින් කියපු බේත් පෙති වලින් ඒ වෙනකොට මං ගාව තිබුණ ප්‍රමාණය.. විසි ගානක් ගිල දානවා... ඒත් මරණය අපේක්ෂාවෙන්...
අපි දෙන්නම ඒ දේ කලේ එකම පසුබිමක් මතද කියන්න මට තේරෙන්නේ නැහැ.. හැබැයි ඒ වෙද්දී මං මට කරන්න පුළුවන් උපරිමය කරලා තිබුනේ... ඒ මොහොතේ මරණය මා කරා ආවනං එයින් පසුව මගේ අතින් සිද්ධ වෙන්න තිබුන වැරදි හුගාක් නවතිනවා... ඇත්තටම ඒක පිරිසිදු මොහොතක්... කාටවත් වරදක් නැති.. මට වරදක් කල අයටත් මුළු හිතින්ම සමාව දීපු... අමුතුවෙන් දිනාගන්න දෙයක් නැති... ආයේ කිසිම දෙයක් ඕනත් නැති.. ඒ වගේම තව දුරටත් කියලා කරන්න කිසිත් නැති මොහොතක්... ජීවීතේ ඊ ළග තත්පරේ මට උවමනා නැති මොහොතක්... මිනිහෙකුට මැරෙන්න එහෙම මොහොතක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ...
ඒත් දින එකහාමාරකට පස්සේ මම නැගිටිනවා වලංගු නැති අතපයත් එක්ක... ඒ තත්වයෙන් මිදෙන්න දවසක් විතර ගියා... එයින් පස්සේ මම ආයෙත් ජීවත් වෙනවා... හැබැයි වැරදි ගොඩක් එක්ක... බාගෙට කරපු වැඩ ගොන්නකුත් එක්ක... කරනවනං තව ඕන තරං දේ තියාගෙන... නොකරපු එහෙත් කල යුතු දේ තියාගෙන... කිසිම ආකාරයකින් සම්පූර්ණයි කියලා කියනන් බැරි ජීවිතයක් ගෙවමින් මම දැන් ජීවත් වෙනවා... පොඩි වෙනසකුත් එක්ක.. ඒ තමා දැන් මට අර අසනීප ගතිවලට එක පෙත්තක් මදි වීම.. දැන් මාත්‍රාව පෙති දෙකයි...
මළ ගිය ඇත්තෝ බලාගෙන යද්දී මේ අවස්ථාව දැකපු වෙලේ තමා කල්පනාවට ආවේ මට මේ සිද්දිය හරියටම මතක නැති උනත් ඒක කොයිම ආකාරයකින් හරි මට බලපෑවද කියන දේ... සමහර විට ඒක එහෙම වෙන්න ඇති... නොවෙන්නත් ඇති... ඒත් ඒ කතාවෙයි මේ කතාවෙයි දෙකේදීම වෙච්ච දේට මං කැමති නැහැ... ඔහුට ඔහුගේ අවසානයත්..මට මගේ අවසානයත් ඒ මොහොතේදී හිමි උනානං අපි දෙන්නටම ඒක සැනසීමක් වෙයි කියලා විතරක් මං දන්නවා...
මොකද එයින් පස්සේත් ඔහු සතුටින් හිටියේ නැහැ... එක එක දේ නිසා දිගින් දිගටම විදෙව්වා... එතකොට මම..?
අද වෙනකොට මමත් මුල් නැති ගහක් වගේ ඔහේ පාවෙනවා... එහෙ මෙහෙ තියෙන අහක යන වැල් ඉදහිට මගේ ඇගේ දැවටෙනවා.. සමහර විට මං විසින්ම ඒවා අස්සෙන් ගිහින් පටලව ගන්නවා.. ඒත් වැල් කියන්නේ මුල් නෙවෙයි කියලා ටික දවසක් යද්දී තේරෙනවා... සමහර විට වැල් විසින්ම ඒ දේ අපිට තේරුම් කරවලා දෙනවා... අපි වැල්වලින් මුල් හොයන්න යෑම විහිළුවක්... අවසානෙදී වෙන්නේ වැල් අතාරින්න වෙන එකයි... එතැන් පටන් වැලුත් නැති මුලුත් නැති ජීවිතේ ගෙවීම ඒ හැටිම පහසු වෙන්නේ නැහැ... අපිටත් නොදැනී අපි අර හිටිය නිහඩ පාළු නිස්කලංක ලෝකයෙන් අහකට පැනලා... ඒත් අර පිටතින් ලස්සන ලෝකේට පනින්න තරං ඒ පනින පිම්ම දිගු වෙලත් නැහැ... එතකොට වෙන්නේ දෙලොවටම නැති ජීවිතයක් ගෙවන්න...
---------------------------------
උදේම අදත් බෙහෙත් පෙති දෙකේ මාත්‍රාව ගන්න උනා... ඒකට ලෙඩේ හොඳ වෙනවා වගේම හිත මත් වෙලා යනවා... බලාගත්ත අතේ බලාගෙන ඔහේ හිටියැකි.... ඒ අතරේ ලියන්න ගත්තම ඔහේ ලියැවෙනවා... ලිව්වේ මොනවද කියලා ඉතිං බලන්න වෙන්නේ බෙහෙතේ පවර් එක ගියාට පස්සේ තමා...
මිය ගියාට පස්සේ මොටද
ආයෙත් අවුරුදු එන්නේ...
මිය ගිය වුන් මිය ගියාවේ
නැහැ ආයෙත් මෙහි එන්නේ...
0 comments:
Post a Comment