"බඩා පුතේ... මොකද බං මේ මහ රෑ පාර මැද්දේ නිදි..බලහං වාහනයක් එහෙම ගියොත් උඹට මොකද වෙන්නේ..නැගිටලා ගෙදර පලයං..ගෙදර ගිහින් නිදා ගනින්.."
පොඩි මුදලාලි බාප්පා එසේ කීවේ මහ රෑ තාර පාර මැද වෙරි මතෙන් වැටී නිදා සිටි බඩාටය... ඒ බඩාගේම හොඳට මිස වෙන යමකට නොවේ.. එහෙත් ඒ වදන් ටිකම පොඩි මුදලාලි බාප්පාට නරකට හිටී යැයි ඔහු හීනෙන්වත් නොසිතන්නට ඇත...
බීලා වැඩි වී ඉඳ හිට වාහනයක් දෙකක් යන එන පාළු තාර පාරේ වැටී නිදියන බඩාට පාරේ යන වාහනයකින් වන අනතුරක් වැලැක්වීමට සිතූ පොඩි මුදලාලි බාප්පා ජීවත් වූ අවසාන රැය..අවසාන පැය කිහිපය... එය විය...
---------------------------------
පොඩි මුදලාලි...
මා දන්නා කාලයක නම් ඔහු කල වෙළදාමක් නැත.. එහෙත් ඔහුව හඳුන්වන්නට මුදලාලි කෑල්ල භාවිතා විය... ඒ අප ඉපදෙන්නටත් වර්ෂ ගණනාවකට කලින් ඔහුගේ තරුණ කාලයේදී කුඩාවට කල සිල්ලර කඩයක් හේතුවෙනි... එහෙත් එම කඩ කෙරුවාව වැඩි කලක් නොකල හෙතෙම වෙනත් වෙනත් දේ කරමින් සිය ජීවිකාව සකස් කර ගන්නා ලදි...
කිසිවකුට යටහත් නොවී සිය වෙහෙස මහන්සියෙන් ලී කොටන් සමඟ ඔට්ටු වී ගතමනාවක් හොයාගෙන එදා වේල සරි කර ගත් මුදලාලි බාප්පාට දරුවන් පස් දෙනෙකු විය.. එයින් වැඩිමහළු දරුවන් සිව් දෙනාම මට වඩා වයසින් වැඩි මහළු වූ අතර බාලම පිරිමි දරුවා අප සමඟ එකට කෙලි සෙල්ලම් කරනු ලැබූ අතර ඔහු මට වඩා අවුරුද්දකින් වයස්ගත විය... පවුලේ බාලයා වූ එකම දියණිය ඉගෙනීමට දක්ෂතා ඇති දරුවෙකු වූ අතර පවුලේ තුන් වැනි දරුවාත් එසේම ඉගෙනුමට සමතෙක් විය...
ඒ හැර අනිත් දරුවන් වූ වැඩි මාළු දරුවන් දෙදෙනාත්.. අප හා කෙලි සෙල්ලම් කල මිතුරාත් එතරම්ම ඉගෙනුමට බර නොවීය...නමුත් යම් තරමකින් ඒ සියල්ලෝම අධ්‍යාපනය ලබන ලදි... කෙසේ වෙතත් ඔවුන් සියළු දෙනාම එකට එකතු වී බොහෝ සාමකාමීව දිවි ගෙවනු ලැබූ බව නම් මතකයේ ඇත.
මුදලාලි බාප්පාගේ නිවස තිබුනේ මහ පාරෙන් හැරී කුඩා දෙවට පාරක් දිගේ මීටර් සීයයක් පමණ ගිය තැනය... එම දෙවට පාරද එල් හැඩැති වංගුවකින්ද දැඩි බෑවුමකින්ද සමන්විත වූ බැවින් නිවස තිබූ තැන පාරට පෙනෙන්නේ නැත.. එසේම කෝපි ගස් වලින් දෙපස ගැවසී ගත් නිසා දෙවට පාර සිහින් අඩිපාරකට පමණක් සීමා වී තිබිණි...
කාමර කිහිපයකින් යුතු වැඩ අවසන් නොකල නිවසක් ඔවුනට වූ අතර ගෙට පහළින් වූයේ විශාල වෙල් යායකි... ඔවුන්ගේ නිවස අසලම වෙනත් නිවෙස් නොවූ අතර මහ පාරෙන් හැරෙන තැන නිවාස කිහිපයක් විය... ඒ හැරුනු කල ඔවුන් ගත කලේ තරමක නිදහස් නිහඩ පරිසරයක වූ ජීවන රටාවකි...
මෙම කාලය වන විට බඩා විවාපත්ව සිටියේය... එසේම තදින්ම බේබදු කමටත් වෙනත් ගැහැණුන් පසුපස යෑමටත් පුරුදුව සිටි කාලයකි... ආර්ථික ප්‍රශ්න වැඩි වෙත්ම බඩා දත් එකම ක්‍රමය වූයේ දවස පුරාම බී ගත්වනම සිටීමයි... රැකියාවක් නොකල ඔහුගේ ආදායම් මාර්ගය වූයේ ගමේ එක් කැලෑ මණ්ඩියක කෙරුණ කසිප්පු පෙරන වැඩට අත් උදවු දීමයි.. එසේ අත් උදව් දීම හරහා නොමිලේම බීමට කසිප්පු ලැබුනු අතර ඉඳහිට ලැබෙන මුදලක්ද විය.. එහෙත් එම මුදලින් කල හැකි වැඩි යමක් නොවීය... වැඩි පුරම සිදු වූයේ එම මුදලින්ද කසිප්පු බීම මිස වෙන යමක් නොවේ...
මේ වන විට සුමුදු අක්කා ගැබ්බරව සිටියා වන්නට ඇත.. ඒ පිළිබඳව මාගේ මතකය එතරම්ම පැහැදිලි නැත... ගෙදරින් පැන ගියාට පසුව සුමුදු අක්කා ජීවත් වූයේ තරමක් වහං වී ගත්වනමය... අප ඔවුන් ජීවත් වූ කුලියට ගත් අබලං කඩ කාමර දෙක අසලින් යන විටක පවා කොතරම් බැලුවත් සුමුදු අක්කා අපට පෙනෙන්නට කිසි විටක පිටතට නොපැමිණියාය... මා පාසල් ගියේ ආවේ සුමුදු අක්කාගේ බාල නැගණියන් දෙදෙනා සමඟ බැවින් ඇය ඔවුනට තමන් ජීවත්වන දුක්ඛිත තත්වය හෙලිවනවාට අකමැත්තෙන්දෝ කිසි විටක අප හමුවේ පෙනී නොසිටියාය...
බඩා සමඟ ආවාට සුමුදු අක්කාට කන්න අදින්න දුන්නේ බඩාගේ සොහොයුරන්ය... විශේෂයෙන්ම බඩාගේ පවුල වෙනුවෙන්ම කැප වී කටයුතු කල පවුලේ දෙවැනි පිරිමි දරුවා වූ "සනත්" බඩාට බාල සොයුරා විය. හේ පාසල් යන අවධියේ පටන්ම කුලී වැඩ කරමින් හෝ පවුලේ බරට උර දුන් ශක්තිමත් අයකු විය... සිය සහෝදරාදීන්ට කන්න අදින්න දෙනවා මදිවාට වැඩිමාළු සොයුරාගේ පවුලට කන්න අදින්න දීමත් කරන්නට වී තිබුණි.
--------------------------
ඒ එක්දහස් නවසිය අසූව දශකයේ අග භාගය විය... ගම මැදින් වැටුනු තාර පාර තරමක් ප්‍රධාන මාර්ගයක් වූවද දශකයක පමණ කාලයක නොසැලකීම නිසා තාර පොදක් නොවැටී අබලන්ව තිබුණි... එහෙයින් උවමනා වූවත් එහි වේගයෙන් රථ ධාවනය කල නොහැකි විය... එසේ වේගයෙන් රථ වාහන ධාවනයට හැකියාව තිබුණි නම් බඩාගේ අවසානය ලියවෙන්නේ එවැනි වාහනයක රෝද හතර පල්ලේ බව අමුතුවෙන් කිව යුතුව නැත.
උපතින්ම ආ අලුගුත්තේරු ගතියත්.. බේබදුකමත් හා එක්වූ චණ්ඩි පාට් එක නිසා ඔහු ජීවත් වූයේ ඔහුට ඕනෑ ආකාරයටය... බී ගත් පසුව ඔහු නිදියන්නේ මහ පාරේද.. වෙලක් මැදද යන්න ඔහුට වැදගත් නැත.. ඔහු කොතැන වැටුනද අනිත් අය ඔහුට ඉඩදී තම කටයුතු කර ගත යුතුය... මහ පාරේ නිදියාගත් විට එහි යන එන වාහන ඔහුව දුටු පසුව පාරේ අයිනෙන් හෝ ධාවනය කොට ගමන යා යුතු වූවා මිස ඔහුගෙන් ඉඩ ඉල්ලීමට රථයේ නලාව හෝ හැඩවීම යනු අහක යන නයෙක් රෙද්ද අස්සට දමා ගැනීමකි...
ඔහුගේ වග හොඳින්ම දත් ගම් වැසියෝ කිසි විටක බඩා හා කතාවට නොයෑමට වග බලාගත්හ...
බඩාගේ බේබදු රංගනය අපූරු එකකි.. බී ගත් පසු පළමුව ඔහු තමා ඉදිරියට එන සියල්ලන්ටම ආදරය කරන්නට ගනී... එම මොහොතේ ඔහුට හමුවන සියල්ලන්ටම නෑදෑකම කියා ආදරයෙන් ආමණ්ත්‍රණය කරයි... මූණ අත ගායි.. අතින් අල්ලගෙන කියවන්නට පටන් ගනී.. ඉඹින්නට යයි.. තුරුළු කරගනී... ඔහුට හසු වූ කෙනා මේ සියල්ල ඉවසා ගත යුතුය.. වැරදීමකින්වත් තමාට හදිසි බව පවසා එතැනින් යාමට හෝ.. බඩා කරන කියන දේට අකමැති බව හැඟ වූවොත් බඩාගේ ආදර ගීතය එතැනින් අවසානය.. එතෙක් වේලා "නැන්දේ මාමේ බාප්පේ අයියේ මල්ලියේ" යනුවෙන් නෑදෑ කම් කියමින් කරනු ලැබූ කතාව එත් ඇසිල්ලකින් රළු පරළු ආකාරයට වෙනස් වෙයි...
"ඈ බොල කැ** තෝ මොන හු**ගේ පුතෙක්ද යකෝ මට එහෙම කියන්න..? තෝ දන්නෑ මේ බඩා කවුද කියලා... කැ* වේ** පුතා.. තෝ මරං කනවා යකෝ..."
යැයි කියමින් ඔහු සිය චණ්ඩි රංගනයට අවතීර්ණ වෙයි.. එවෙලෙට ඔහුගෙන් බේරී පලා යාම කල හැක්කේ එහෙමත් අයෙකුටය.. නැතිනම් සිදුවන්නේ ගුටි ඇන ගන්නටය... කෙසේ හෝ බේරී පැන ගත්තද එයින් පසුව ඔහු නිතර විමසිල්ලෙන් සිටිය යුත්තේ බඩා බී ගත් වාරයක් වාරයක් පාසාම පරණ සිද්ධි සිහි කොට තරහා කාරයින් සොයා යන ගතියක් තිබූ නිසාය...
එහෙවු බඩා ගැන මුදලාලි බාප්පා නොදැන සිටියා නොවේ... එහෙත් ඉරනම් ගමන යන්නට කැපවී සිටි බාප්පාට එදා වැරදුනි... එසේ හෙයින් දවස පුරා වෙහෙසී සිය කලමනා ආම්පන්නත් රැගෙන නිවසට යන අතර වාරයේ බඩාව ඇහැරවා ගෙදර යැවීමට ඔහු උත්සහ ගන්නේ නැත...
නමුත් කර්ම ශක්තිය සියල්ලටම වඩා ඉහලින් සිටී... ඒ කරුමය විසින් පෙළඹවූ බාප්පා බඩා නැමති සර්පයාව අවදි කරන්නට යෙදුණි... ප්‍රතිඵලය වූයේ පැය කිහිපයකින් පසුව පොඩි මුදලාලි බාප්පාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීමය...
එහෙත් එම ඝාතනය සිදු කලේ බඩාමද..?
මුදලාලි බාප්පාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙවැට පාරේ වැටී තිබියදී බඩාගේ සුන් බුන් වූ සිරුර තිබුනේ මුදලාලි බාප්පාගේ පිළිකන්නේය...
එදා රෑ සිද්ධ වූයේ කුමක්ද...?
නීතිය හමුවේ අදටත් නොවිසඳුනු... එහෙත් මුළු ගමක් දන්නා ඒ රහස කුමක්ද..?
උපුටා ගැනීම මාරයාගේ හෝරාව
0 comments:
Post a Comment