සිංහල ජනකවි

on Friday, 7 December 2012



අතීත ජනයාතමන්ගේ කාන්සියත්,වෙහෙසත් නිවාගැනීම සඳහා යොදාගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන් , වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජනකවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. අප මතුන්මිත්තන් සැඟවුණු කුසලතා පිළිබිඹු කරන්නා වූ වටිනා නිර්මාණ වශයෙන් අපේ ජනකවි දැක්විය හැකිය.පහත දක්වා ඇත්තේ අපේ ජනකවි අතරින් තෝරාගත් කිහිපයකි.


1 දරු නැළවිලි කවි
2 වැදි කවි
3 රබන් පද
4 අන්දරේ කී කවි
5 වස් කවි
6 ඔන්චිලි වාරම් කවි
7 කරත්ත කවි
8 පැල් කවි
9 පාරු කවි
10 නෙළුම් කවි
11 පතල් කවි
12 සංදේශ කවි
13 සංවාදාත්මක කවි
14 උපමා කවි
15 උපදේශ කවි
16 කවට කවි
17 සොකරි කවි
18 සෙත් ශාන්ති යාතිකා කවි
19 තේරවිලි කවි
19.1 ප්‍රශ්නය
19.2 පිළිතුර
20 තල මල් කවි
21 උඩැක්කි කවි


දරු නැළවිලි කවි





අතට වළලු කොහෙන් දුවේ
පයට වළලු කොහෙන් දුවේ
ඉඟට හවඩි කොහෙන් දූවේ
දැනට නිදා ගනින් දුවේ





වැදි කවි



තෙන ‍තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
හීතල වන්නියෙ කෑලිය වැල්ලේ - වැල් කොබ්බෑවල දුන්න නමාගෙන
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
මොරියන් කැච්චක් පි‍ට එල්ලාගෙන - කෑටුන් දෙන්නා ඉච්චර කරගෙන
වන්නියා කොයිබට ගච්චන්නේ - වන්නනියා කොයිබට ගච්චන්නේ
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ
වත්තෙන් පැන්නේ මිල්ලානා - වත්තෙන් පැන්නේ දිවුටානා
තෙන තෙදිනානා තෙදිනානේ - තෙන තෙදිනානා තෙදිනානේ




      


රබන් පද


සඳුන් කැලේ
අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක්
බඩ බැඳගෙන
පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා




අන්දරේ කී කවි





අම්මේ මක්ක කියනෙද දැන් නුඹ මෙමට
උඹ කී නිසා හරකෙකු ලෙස      උන්නාට
පුළුවන් තරමටත් වැඩියෙන් උන්නු   මට
නහින්නට කියනවද තව මට ඔය  ලෙසට



වස් කවි





බහින ජලය මෙන් සියගත      ඇදීයන්
නගින ගහෙන් උගුරේ උල     ඇනීයන්
බඳින බැම්ම වල වරපට        කැඩීයන්
කෙමින ගත් හොරා හතරට    පැලීයන්


ඔන්චිලි වාරම් කවි



උඩයන රවුමට පපුවයි දන්                    නේ
පාතට එනකොට නිවිලයි එන්                නේ
පොල්ලක් පැන්නට බය නොසිතන්        නේ
පත්තිනි දෙවිඳුට පින් දීපන්                  නේ







කරත්ත කවි





සසඳ සසඳ හඳ පානේ අපි           යනවා
මම්මල බඳව ගොන් බානක්    දක්කනවා
සකිය සගව්ව‍ට රෝදය කැර      කෙනවා
දත් කැකුළට අපි කුරුණෑගල්       යනවා



පැල් කවි





පැලේ පැදුර සුළඟට වැනි        වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි            සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි    පැසීයෝ
‍අපේ මෙවන් දුක දෙවිඳුට       පෙනීයෝ



පාරු කවි





ගමන් යන්ඩ නැකතින් පාරු පැද    ගෙනේ
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ    ගෙනේ
මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ    ගෙනේ


නෙළුම් කවි



දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්







පතල් කවි






මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

සංදේශ කවි






පේරාදෙණියෙ එකසිත් ඇති මහත්වරු
පාලම සදන්නට ගත්තේ යකඩ කරු
ඒවා මැදට ඇණ දුන්නේ ගල් පතුරු
පාලම තිබෙයි මේ කප පවතිනා තුරු


සංවාදාත්මක කවි


රජතුමා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
තිරුවා මෙමන් අඹගමුවට යවා ඇත
බොරුව කියා තී රවටා යයි නොසිත
හරුව දොර මෙපුර මහරජ මමය කත

තිරුවා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත
ඔරුව ලඟට තොට පදිනා කෙනෙක්
පියානන්ට බොරු කියනා කෙනෙක් නැත
තිරුවා මමයි මම අඹගමු ගියේ නැත




තරුණයා

අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියෙක් නැති ගමන තනි මග කිම්ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

තරුණිය

අල්ලගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

උපමා කවි





දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති
ඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති
කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති
මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති






උපදේශ කවි





ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

පීල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරේ එය හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්

කවට කවි





මාමයි මමයි වැලි කුඹුරේ හාන කොට
දත්කො‍ට ඇතෙක් එනවා අපි මරන්නට
වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට
පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට



සොකරි කවි





යාලක් විතර වී අව්වේ වනාලා
දොළසක් විතර ඇඟ ගෝමර ඉසීලා
අතක් දිගට නිල් වරලස මිදීලා
සොකරි සිටිති වී අව්වේ වනාලා




සෙත් ශාන්ති යාතිකා කවි





කළු කපුටා සුදු වන තුරු
මෝල් පිල්ල ලියලන තුරු
ඉඟුරු ඇස්ස පැලවෙන තුරු
එකසිය විස්සට දෙසිය විස්සක්
ආයුබෝ වේවා !



තේරවිලි කවි



ප්‍රශ්නය
දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

පිළිතුර
වනන්ත‍රේ ගල් උණූවෙනවා හේමා
ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා
ජල බොර දියෙන් පණ රැකුණා හේමා
මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා


තල මල් කවි





සඳ විලසින් සඳ මඩල ලෙසින් එම රැස් විලසින් මල් වට දිලෙනා
දඹ ගෙතුමෙන් මුතු පබලු පෙලින් පෙළ කිනිති බරින් මල් වට දිලෙනා
නද කරමින් වීණාව නදින් බිඟුරොන් ගනිමින් ගුවනේ තිබුනා
සොඳ රුවනින් තලමල මෙලෙසින් සක්වල සතොසින් ඒ මල පිපුනා



උඩැක්කි කවි




‍පෙර බුදු මඟුලට ගැසූ උඩැක්කිය
ඒ බුදු මඟුල‍ට ගැසූ උඩැක්කිය
සතර වරම් සැමටා දෙවි   සක්කිය
ගුරුනි දෙවන් මට බුද්ද   උඩැක්කිය

0 comments:

Post a Comment